නිසි වයස ආවාම විවාහ කරගන්න කියා අවුරුදු 14 දියණිය පෙම්වතාට තෑගි කරලා…! අධිකරණයත් පිළිකුල් කල පියාගේ පහත් ක්‍රියාව

වයස අවුරුදු 14 ක දියණියක් තම පෙම්වතාට ත්‍යාගයක් ලෙස ලබා දුන් පියෙකුට අධිකරණය විසින් දඬුවම් නියම කර තිබෙනවා. නිසි වයස පැමිණි විට විවාහ කර ගන්නා ලෙසට උපදෙස්‌ දෙමින් කුඩා දැරියගේ පියා තම 14 හැවිරිදි දියණිය ඇයගේ පෙම්වතාගේ නිවෙසට ගෙනගොස්‌ ඔහුට භාරදී තිබෙනවා. එහිදී දින පහක් තිස්සේ මෙම කුඩා දැරිය පෙම්වතාගේ අතවරයට ලක්ව ඇති අතර අධිකරණය විසින් ඔහුටද දඬුවම් නියම කර තිබෙනවා.


ඒ අනුව දැරියට අතවර කළ පෙම්වතාට දඬුවම් නියම කරන අවස්‌ථාවේ දැරියගේ පෙම්වතාට වඩා දෙගුණයකින් දඬුවම් දැරියගේ පියාට නියම කිරීමට රත්නපුර අංක 1 මහාධිකරණයේ විනිසුරු නවරත්න මාරසිංහ මහතා කටයුතු කර තිබුනා. ඒ අනුව දැරියගේ පෙම්වතාට වසර 10 කට අත්හිටුවන ලද බරපතළ වැඩ සහිත වසර 2 සිර දඬුවමක්‌ නියම කර තිබෙනවා. ඊට අමතරව රුපියල් 15000 ක දඩයක්‌ සහ දඩය නොගෙවුවේ නම් අමතර මාස 6 ක ලිහිල් සිරදඬුවමක් නියම කර ඇති අතර විත්තිකරු දැරියට රුපියල් ලක්‍ෂයක වන්දි මුදලක්ද ගෙවීමට නියම කර තිබෙනවා.


දැරියගේ පියාට වසර 2 ක සිරදඬුවමක්‌ නියම කර එය වසර 10 කට අත්හිටුවන ලද අතර රුපියල් 30000 ක දඩයක්‌ද නියම කරන තිබෙනවා. එසේම තම දියණියට රුපියල් 150,000 ක වන්දියක්‌ සහ එය නොගෙවන්නේ නම් ඔහුට වසර 1 ක ලිහිල් සිර දඬුවමක්ද නියම කර තිබෙනවා.


මෙහිදී දැරියගේ පෙම්වතාගේ ක්‍රියා කලාපය අධිකරණය කිසිසේත්ම සැලකිල්ලට නොගන්නා බවත් තම ළාබාල දියණිය පෙම්වතෙකුට භාර දෙන පියෙකු සම්බන්ධයෙන් අත්දැකීමක්‌ මෙතෙක්‌ ලබා නොමැති බවද එය ශිෂ්ට සමාජය පිළිනොගන්නා කරුණක්‌ වන අතර වැඩිහිටි පුද්ගලයෙකු ලෙසට පියා සිදුකළ වරද අධිකරණය පිළිකුල් කරන බවද විනිසුරුවරයා ප්‍රකාශ කර තිබෙනවා.

Loading Facebook Comments ...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *